මහානායකවාදය

Submitted by admin on සෙන, 08/14/2021 - 20:15

මහානායකවාදය යනු සම්මාසම්බුද්ධ නොවූ යම් කිසි පැවිද්දෙකු හෝ පැවිද්දන් පිරිසක විසින් ශාසනයේ නායකත්වය හොබවමින් කටයුතු කිරීම යහපත් යැයි පිළිගන්නා මතයයි. මහානායකවාදය ථේරවාදයෙන් වෙනස් වුවත් ඊට ථේරවාදය යන නම භාවිතා කිරීම සුලභව සිදුවේ. ඒ කුමක් නිසා දැයි මහානායකවාදය ප්‍රියකරන ඔබ අන් අයට නොපැවසුව මනාය.

මහානායක යන්නෙන් ප්‍රධාන නායකයා, ප්‍රධාන පිරිස් පාලනය කරන්නා, ප්‍රධාන පිරිස් හසුරුවන්නා, උතුම් නායකයා, ශ්‍රේෂ්ඨ නායකයා ආදී අර්ථ දේ. සම්මාසම්බුද්ධ තියා යටත් පිරිසෙයින් සෝතාපන්න වත් නැති සම්මාසම්බුද්ධ භාෂිතයටවත් ගරු නොකරන අන්ධබාල පෘතග්ජනයෙකු අරභයා උවද එම ගෞරවනීය නම භාවිතා කිරීමෙන් එම පුද්ගලයාගේ සුදුසුකම් පිළිබඳ වැඩි දුර නොසිතන පිරිස් අතර එම පුද්ගලයාට ගරු ගාම්භීරත්වයක් ආරුඩ කිරීමට හැකිවීම පිළිබඳ මහානායකවාදය ප්‍රියකරන ඔබ සතුටු විය යුතුය.

මහානායකවාදයේ ආරම්භය ගෞතම සම්මාසම්බුදුරජානන් වහන්සේ ජීවමානව වැඩ සිටි කාලයටම යයි. එකල දෙව්දත් විසින් භික්ෂුසංඝයාව පාලනය කෙරුමට ගෞතම සම්මාසම්බුදුරජානන් වහන්සේගෙන් අවසර පතන ලදී. අග්‍රශ්‍රාවක වූ සැරියුත් මුගලන් දෙනමට ද භික්ෂුසංඝයාව බාර නොදැන්නෙමැයි කී බුදුරජානන් වහන්සේ ළාමක වූ කෙළ බුදින්නා යන නමින් දෙව්දත්ට නිග්‍රහ කරන ලදී. ඒ පිළිබඳ ථේරවාදීන්ගේ ත්‍රිපිටකයේ විනය පිටකයේ චුල්ලවග්ගපාළියේ සඞ්ඝභෙදකක්ඛන්ධකයේ (271 පිටුව) සඳහන්ව ඇත. අන් පරිදි වූ මහානායකවාදයේ දී අග්‍රශ්‍රාවක වූ සැරියුත් මුගලන් දෙනම ද ඉක්මවා දෙව්දත්ගේ අභිප්‍රාය පිළිගැනේ. සැරියුත් මුගලන් දෙනම ද ඉක්මවා සිටින මහානායකවරුන් පිළිබඳ සිතීම පවා මහානායකවාදය ප්‍රිය කරන ඔබට ආශ්වාදජනක වන බව නොඅනුමානය.

තමන් වහන්සේ දේශනා කළා වූ, පැනවූ ධර්මය විනය ශාස්තෘ කරගන්නා ලෙස ගෞතම සම්මාසම්බුදුරජානන් වහන්සේ සිය පරිනිර්වාණ සමයෙහි දී ආනන්ද හිමිට පවසා ඇති බව ථේරවාදීන්ගේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ දීඝනිකායේ මහාවග්ගයේ මහාපරිනිබ්බාන සූත්‍රයේ (243 පිටුව) සඳහන්ව ඇත. ඒ ධර්මයෙහි ඒ විනයෙහි කවරක් තිබුනත් මහානායකවාදයේ දී මහානායකවරුන්ගේ භාෂිතයට ගරු කෙරේ. සම්මාසම්බුද්ධ භාෂිතයේ කුමක් තිබුනත් එය පසෙක ලා මහානායක භාෂිතයට ඇහුම්කන් දෙන මහානායකවාදී පිරිසක් ඇත්නම් එය මහානායකවාදය ප්‍රියකරන ඔබව සතුටට පත්කරවන තවත් කරුණක් බව අපි ද දනිමු.

මහානායකවරුන් සිටීමේ අවශ්‍යතාවය වෙනත් අයුරකින් ද මහානායකවාදය ප්‍රියකරන ඔබට ඒත්තු ගැන්විය යුතු යැයි සිතමු. යම් රටක රජෙක්, ජනාධිපතිවරයෙක් හෝ එබන්දෙක් හදිසියේ මියගියහොත් ඒ වෙනුවට වෙනත් අයෙකුගේ සම්ප්‍රාප්තියක් සිදුනොවුවහොත් ඒ රටේ ජනතාව සීසීකඩ යන්නාක් මෙන් ක්‍රියා කරන්නට පටන් ගනී. එසේ වූ රටක පැවැත්මක් ගැන කවර කථා ද? ඊටම අනුරූපව ශාසනය ගැන ද සිතා බලනු මැනවි. එසේ සිතීමෙන් මහානායකවරුන් සිටීමේ අවශ්‍යතාවය මහානායකවාදය ප්‍රියකරන ඔබට මනාව වැටහෙනවා ඇත. තව ද මෙකල පුද්ගලයින් මහානායක භාෂිතයට ඇහුම්කන් දීමේ අවශ්‍යතාවය ද ඔබට තහවුරු වනු ඇත.

එසේ වුවත් ථේරවාදීන්ගේ ක්‍රියාකලාපය වෙනස් ය. ඔවුන් මහාපරිනිබ්බාන සූත්‍රයේ ඇති පරිදි සම්මාසම්බුද්ධ භාෂිතයට අනුව කටයුතු කරන බව පෙනේ. පිරිනිවි සම්මාසම්බුදුරජානන් වහන්සේගේ භාෂිතය කෙසේ නම් ඔවුන්ව සක්‍රීයව පාලනය කරයි ද යන්න සිතා බැලිය යුතු කරුණකි. ඒ පිළිබඳ ථේරවාදීන්ගේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ මජ්ඣිමනිකායේ උපරිපණ්ණාසකයේ දෙවදහවග්ගයේ ගෝපකමොග්ගල්ලාන සූත්‍රයේ සඳහන්ව ඇත. සම්මාසම්බුදුරජානන් වහන්සේ විසින් පනවන ලද සිකපදවලට අනුව පාමොක් දෙසීමේදී ධර්මය විසින් පුද්ගලයින්ව විනයනය කෙරෙන ආකාරය එහි විස්තර වේ. මෙසේ කියනා විට මහානායකවාදය ප්‍රියකරන ඔබට යම් දුකක්, ශෝකයක්, සන්තාපයක් හටගත්තේ වී නම් පෙර කී රජා මල රට ගැන නැවත සිතා ඒ දුක, ශෝකය, සන්තාපය යටපත් කරගනු මැනවි.

කෙසේ වෙතත් මහානායකවාදය ප්‍රියකරන ඔබ ථේරවාදීන්ගේ ගෝපකමොග්ගල්ලාන සූත්‍රය අන් අයට නොදක්වා, සඟවා තැබීමට කටයුතු කිරීම යෝග්‍ය වේ. ඒ කිමද යත් තමන් වහන්සේගේ ඇවෑමෙන් පසු ඉන්නා අයට 'මෙ තෙම තොපට මාගේ ඇවෑමෙන් පිළිසරණ වන්නේ යැ'යි සම්මාසම්බුදුරජානන් වහන්සේ විසින් තබන ලද එක භික්ෂු කෙනෙකුදු  නැති බව සහ සංඝයා විසින් සම්මත වූ බොහෝ ස්ථවිර භික්ෂූන් විසින් 'මේ තෙම අපට භාග්‍යවතුන් වහන්සේගේ ඇවෑමෙන් පිළිසරණ වන්නේ යැ'යි තබන ලද එක භික්ෂු කෙනෙකුදු නැති බව එම සූත්‍රයේ සඳහන්ව තිබීමයි. මෙය මහානායකවාදයට ඉඳුරාම පටහැනිය. තවද එම සූත්‍රයේ දස ප්‍රසාදනීය ධර්ම යැයි ... මේ කථාව මෙතැනින් නැවතීම උචිත වේ. නැතහොත් මහානායකවාදය ප්‍රියකරන ඔබ තුළ ඔබ ථේරවාදය දන්නා අයෙකු යැයි මානය හටගෙන නිවන වැසී යා හැක. සම්මාසම්බුදුරජානන් වහන්සේ ද යම් භික්ෂුවකට තුච්ඡපොට්ඨිල යැයි නිගරු කොට ඇත. මහානායකවාදය ප්‍රියකරන ඔබ තුච්ඡපොට්ඨිලයෙකු නොවේවායි අපි ප්‍රාර්ථනා කරමු!

දෙව්දත් සරණයි!